කොළඹ ස්ථීර මාර්ග බාධක ඉවත් කරන්න

කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (05) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ගම්පහ වජිර පාරෙහි අංක 15/3, දරන ස්ථානයෙහි පදිංචි ෂෙනාල් ජයසේකර  සහ පරිසරවේදියකු වන රංජිත් සිසිර කුමාර යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, කොටුව සහ කොල්ලුපිටිය යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, මාර්ග සංවර්ධන අධිකාරිය, මානව හිමිකම් කොමිසම සහ නිතිපතිවරයා ය.

පොලිසිය විසින් කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය සහ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකරනු ලැබ ඇති ස්ථිර මාර්ග බාධක හේතුවෙන් මහජනතාවට නිදහසේ ගමන් බිමන් යාමට ඇති මුලික අයිතිවාසිකම උල්ලංඝණය වී ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉදිරිපත් කර ඇත.

මෙම මාර්ග බාධක ඉදිකිරීමට හේතුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයකු ඉකුත් 23 වැනිදා ලබාදුන් නියොග්යක් නිසාවෙන් බවට තමන් විශ්වාස කරන බවත් එම නියෝගයට අනුව පුද්ගලයන් 16 දෙනකුට එරෙහිව වාරණයක් ද ලබා දී ඇති බවත් පෙත්සම්කරුවන් සදහන් කර තිබේ.

මේ හේතුවෙන් මහජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට නියෝග කර මෙම ස්ථිර මාර්ග බාධක යෙදීම තුළින් තමන්ගේත් ජනතාවගේත් මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත්, එම මාර්ග බාධක ඉවත් කිරීමට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.