රුපියලේ අඩුවට කොන්දාගෙන් මගියට කණේ පහරක්

බස් ටිකට් එකට රුපියලක් අඩුවෙන් දුන්නැයි උරණවූ කොන්දොසරතරවරයකු  72 හැවිරිදි වකුගඩු රෝගියකුට  බස් රථය තුළදී පහරදීම හේතුවෙන් පොලොන්නරුව රෝහලට ඇතුළත්කළ බව පොලිසිය කියයි

පොලොන්නරුව ලංගම ඩිපෝවට අයත් බසයක කොන්දොස්තරවරයකු එසේ පහරදී ඇති අතර එම බසයේ ගමන්ගත් මගියකු එම රෝගියා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.  පසුව එම තරුණයා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද පොලොන්නරුව පොලිසිය කියයි.

එම පැමිණිල්ලට අනුව අදාල බස් කොන්දොස්තරවරයා පස්වරු 2ට පමණ අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්. ජී. සී. පී. විජේවීර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

කොන්දොස්තරවරයාගෙන් මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ, දිඹුලාගල නුවරගල  පිහිටිවැව පදිංචි සිවුදරු පියෙකි. ඔහුගේ බිරිදට දෑස් නොපෙනෙන අතර ඔහු තනිව වකුගඩු රෝගය සඳහා බෙහෙත් විදගැනීමට පොළොන්නරුව වකුගඩු රෝහලට යෑම සඳහා බසයට ගොඩ වී බස් ගාස්තුව ලබාදීමෙන් පසු මෙම පහරකකෑමට ලක්ව තිබේ.

ඔහු කදුරුවෙල සිට වකුගඩු රෝහල් සඳහා ගමන් කිරීමට රුපියල් 30 ක මුදලක් කොන්දොස්තරවරයාට ලබාදී ඇති අතර රුපියල්ක මුදලක් අඩු නිසා කොන්දොස්තරවරයා පරුෂ වචනයෙන් බැන ප්‍රහාර එල්ල කොට පහර දුන් බවත් එම පහරදීම් වීඩියෝ ගත කළ තරුණයකුගේ ජංගම දුරකථනයද කොන්දොස්තරවරයා  උදුරා ගෙන ඇති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

පහර කෑ වකුගඩු රෝගියා පොළොන්නරුව මහ රෝහලේ 12 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවද රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.