පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමයි

අපහාස කතා බොරු චෝදනා නොගැලපෙන වදන් නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට පසුගිය කාලයේදී  විවිධ හානි සිදුවූ  බවත්  පාර්ලිමේන්තුවේ අභිමානය සහ ගෞරවය රැක ගැනීම මෙම සභාවේ  සියලුම මන්ත්‍රීවරුන්ගේ වගකීම බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපය නැවත ගොඩනංවා ගැනීම සඳහා තමාට උදව් කරන්නැයි  සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ  නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ සිය සුභාශිංසන කතාව පවත්වමිනි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

අග්‍රාමාත්‍යතුමනි,  විපක්ෂ නායක තුමනි, සභානායකතුමනි, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුනි,  අමාත්‍යවරුන් සහ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි…..

මුලින්ම මම ඔබ සැමට නිදුක් නිරෝගී, ඵලදායී නව වසරක්  පතනවා! ඔබ දන්නා පරිදි පසුගිය වසර අප සැමට ඉතා අභියෝගාත්මක වසරක් විය. මුළු ලෝකයම ගිලගත් කොවිඩ්  තත්වයෙන් පාර්ලිමේන්තුවටත් බලපෑම් එල්ල වී  තිබියදීත් රටට වැදගත් කරුණු සම්බන්ධයෙන් සැසිවාර පවත්වා අපගේ වගකීම්වලට අනුව 2022 වසර සඳහා අයවැය සම්මත කරගැනීමට අපි සමත් වීමු. පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු මහලේකම්තුමා ප්‍රමුඛ සියලුම කාර්ය මණ්ඩලයට, වේත්‍රධාරීතුමාට, ආරක්‍ෂක අංශ, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු මෙම කාලයේදී පාර්ලිමේන්තු කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට උපකාරීවූ සියලු දෙනාටම මගේ හෘදයාංගම ප්‍රණාමය හා ස්තුතිය සටහන් කිරීමට මෙහිදී කැමැත්තෙමි.

2022 නව ආරම්භයක් සනිටුහන් කරන අතර, සමහර දෑ වෙනස් කිරීමද සුදුසු යැයි මට හැඟේ. ඔබ සභා ගර්භ සීමාව ඉක්මවා ගිය පසු, ඔබ සැවොම පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් ලෙස සලකනු ලැබේ. එම ගෞරවනීය තත්ත්වයට ගැළපෙන පරිදි  ගෞරවනීය ලෙස කථා කිරීම සහ හැසිරීම වැදගත් වේ.

මම පාර්ලිමේන්තුවට ඇතුළත් වූ  අවස්ථාවේ කරුණු කාරනා ඉගෙන ගත් අයුරු සිහිපත්කරනු කැමැත්තෙමි. මා පාර්ලිමේන්තුවේ මුලින්ම කතා කරනවිට සති ගණන් සූදානම් වෙලා, පුස්තකාලය පරිශීලනය කොට, දිවංගත  ගාමිණී දිසානායක, රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, වැනි කථිකයන්ගේ කථා කියවා බලා, ඒ කථා අහගෙන සූදානම් වුණා. නව සාමාජිකයින් ලෙස, අපට අවශ්‍ය වූයේ සභා ගර්භය තුළ අප ගැන වඩාත් යහපත් හැගීමක් ලබා දීමටයි. මන්ද එසේ නොකළහොත් එය විශාල ලැජ්ජාවක් විය හැකි බැවිනි. නමුත් අද ඉතා සුළු මන්ත්‍රීවරු පිරිසක් පමණක් පුසතකාල පරිශීලනයෙන් පසු තම කථා සඳහා පෙර සූදානම් වන ආකාරයක් දකින්නට ලැබෙනවා. පුස්තකාලය විසින් සපයනු ලබන තොරතුරු වලට අනුව, 2021 වසර තුළ මන්ත්‍රීවරයන් විසින් පුස්තකාලයෙන්  ගෙන ඇත්තේ පොත් 330 ක් පමණි. ඉන් 122ක් ප්‍රබන්ධ කථා ( Fiction)  යටතේ ඇත.