පුෂ්පිකාගේ කිරුළ ගැල‌වෙයි

(ඉන්දිකා  රාමනායක)

ලෝක විවාහක  රූ රැජින තරගය නියෝජයන කිරීම සදහා   සුදුසුකම් ලැබු  ශ්‍රි ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා  ද සිල්වා මහත්මිය  දරණ “ශ්‍රි ලංකා   විවාහක රූ  රැජින නාමය” අද  (8) සිට  ක්‍රියාත්මක වන පරිදි  ඉවත් කිරීමට විවාහක රූ රැජින සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා  පියවර ගෙන ඇත.

තම සංවිධානයට පැවරී ඇති නීත්යාලනුකූල බලතල අනුව මෙම පියවර ගත් බවත්, ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට “ශ්‍රී ලංකා විවාහක රූ රැජින” යන නාමය දේශීය වශයෙන් හෝ ජාත්යවන්තර වශයෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ භාවිතා  කිරීමට නොහැකි බව එම කමිටුවේ අධ්‍යක්ෂවරයා මෙන්ම ලෝක විවාහක රූ රැජින තරගාවලිය වෙනුවෙන් දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

ශ්‍රි ලංකාව නියෝජනය කරමින්  ලෝක විවාහක රූ රැජින තරඟයට  ඉදිරිපත් වු පුෂ්පිකා ද සිල්වා එම පදවිය දරාගෙන රටේ ගරුත්වයට හානි වන සේ  විනය සහ ආචාර ධර්ම උල්ලංඝනය කරමින්  හැසිරී ඇති බවද  එම නිවේදනයේ   සඳහන් වේ.

ඇගේ වැරදි හැසිරීම,  ප්‍රසිද්ධියේ බොරු චෝදනා කිරීම, හෙළා දකින බවත්, රූ රැජිනකින් බලාපෙරොත්තු වන ආචාර ධර්ම හා විනය  ඇය උල්ලංඝනය කර  ඇති බවට  පැහැදිලිව පෙනී යන බවත්   එම නිවේදනයේ  සඳහන් වේ.

රට නියෝජනය කරමින් දූත මෙහෙවරක් කරන  අයකුට ඒ ආකාරයේ හැසිරීම කිසිසේත් සුදුසු නොවන බවද තමන් ප්‍රසිද්ධියේ චෝදනා කරන බවද චන්දිමාල් ජයසිංහ මහතාගේ නිවේදනයේ සඳහන් වේ.

පුෂ්පිකා ද සිල්වාට මින් ඉදිරියට ශ්‍රි ලංකා විවාහක රූ රැජින කිරුළට  අයත්  නාමය   දේශිය හෝ අන්තර් ජාතික වශයෙක්    භාවිතා කරන්න අයිතියන් නොමැති  බවද  චන්දිමාල්  ජයසිංහ මහතා දන්වා සිටියි.

යම් හෙයකින් මින්  ඉදිරියට දේශිය  වශයෙන්  හා අන්තර් ජාතික වශයෙන් එම නාමය  භාවිතා කළ හොත් ඇයට විරුද්ධව  නීත්‍යානුකුළ ක්‍රියා මාර්ග ගන්නා බවට ද එම නිවේදනයේ වැඩිදුරටත් වේ.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය 2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින්  පසුගිය ජනවාරි මස 25 වැනි දින ඇමැරිකාවේ දී තරඟ වැදුන අතර එහිදී ඇයට  එම තරගයේ  අවසන් 6 දෙනා අතරට පැමිණීමට හැකි විය.

එම සිද්ධියෙන් පසු  තමාට හිමිවීමට නියමිතව තිබු ලෝක විවාහක  රූ රැජින කිරුළ කුමන්ත්‍රනකාරි ලෙස තමට අහිමි කළ බවට  ඇය  සමාජ මාධ්‍ය ඔස්සේ කිහිප දෙනෙකු වෙතම චෝදනා එල්ල කර තිබිණි.

පුෂ්පිකා ද සිල්වා  මහත්මිය 2021  වසරේ  අප්‍රේල් මස 04 වැනි  දින නෙළුම් පොකුණ රගහලේ දී පැවැති තරඟයකින් පසු ශ්‍රි ලංකා විවාහක කිරුළ දිනාගන්නා ලදි.

ශ්‍රි ලංකා විවාහක  රූ රැජින කිරුළ පළදා සුළු මොහොතකින් ලෝක විවාහක රූ රැජිනව සිටි 2020  ශ්‍රි  ලංකා රූ රැජින හා  හිටපු ලෝක විවාහක රූ රැජින  කැරොලයින් ජූරි මහත්මිය විසින් එය පුෂ්පිකාගෙන් ගලවා අනුශූරත්වය ලබාගත් තරඟකාරියට පැළද වීම නිසා හටගත් අරබුධකාරි තත්ත්වය  දෙස් විදෙස්  බොහෝ පිරිසගේ  අවදානයට  ලක්විය.

මෙම සිද්ධියෙන් පසු 2020  ශ්‍රි  ලංකා රූ රැජින හා  හිටපු ලෝක විවාහක රූ රැජින  කැරොලයින් ජූරි සිය ලෝක විවාහක රූ රැජින කිරුළ නැවත බාර දෙන ලදි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)