‘විශ්වාස භංගයෙන් ජනතා අරමුණු ඉටු වෙනවා දැයි සිතිය යුතුයි‘

(අංජුල මහික වීරරත්න)

විශ්වාස භංගයකින් අගමැතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ ධුර අවසන් වුවහොත් ජනාධිපතිවරයාගේ බලතල වඩාත් ශක්තිමත් වන හෙයින් ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමෙන් ජනතාව බලාපොරොත්තු වන පරමාර්ථ ඉටු වෙනවා දැයි සූක්ෂම සිතා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒම කල් යන වැඩක් වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාටත් විශ්වාසභංගයක් ගෙන ඒමේ ප්‍රතිපාදන තිබෙන බව කී එජාප උප නායකයා මේ කාරණය සම්බන්ධ අවධානය යොමු කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ කිසිම ප්‍රශ්නයක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ මතය වන නමුත් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමෙන් ගෝල්ෆේස් පිටියේ විරෝධතා දක්වන පිරිස ඇතුළු රටේ බහුතරය අපේක්ෂා කරන අරමුණ ඉටුවෙනවා දැයි  සිතා බැලිය යුතු බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (27)පැවති මාධ්‍ය හමුවකදී එජාප උප නායකයා මේ බව කීය.