විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ  විශේෂ  රැස්වීමක් ( පක්ෂ නායක ) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා විසින් මෙම සාකච්ඡාව කැඳවෙන බව   පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවේ යම් යම් පක්ෂ සහ කණ්ඩායම්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ගණනාවක්  කතානායකවරයාට දැනටමත් බාරදී ඇත.

සමගි ජන බලවේගය සහ   පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ පිරිසද   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කතානායකවරයාට බාරදී ඇති   කණ්ඩායම   අතර වෙයි.

මේ අතර  ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්  පවත්වන ආකාරය සහ  ඒවායේ   න්‍යාය පත්‍ර  පිළිබඳවද  මෙම රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.